HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Monday, April 13, 2015

අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දූරදර්ශී නායකයා ලී ක්වාන් යූ.

Sunday,5 Apr 2015  'රාවය' පුවත්පත.
1959-1990 වනවානුවේ සිංගප්පූරුව් ප‍්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත්කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත්වුණා.
ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළිගන්නවා.
අපේ රටේ ලී(චීන සම්ප‍්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග‍්‍රහයන් එක්කෝ ඔහු ශ‍්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඬු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා. ඇත්තටම ලී මාන රැුසකින් යුත් අසමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත‍්‍රික්කය පමණ බිම් ප‍්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාරගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග‍්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුය.
සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.
nalak

ඉදිරියේදී සිංගප්පූරුව දියුණු රටක් කරන්නට දේශීය හැකියාව ප‍්‍රමාණවත් නොවන බවත්, උගත් හා දක්ෂ විදේශික වෘත්තිකයන් ආකර්ශනය කරගත යුතු බවත් රජය දැන සිටියා. එරටට ආවේණික වූ චීන, මැලේ හා ඉන්දියානු ජන සංස්කෘතිීන් රැුකගනිමින් නූතනත්වය වැළඳගත් සිංගප්පූරුව, පිළිවෙළකට වැඩ කිරීම ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත් කළා. මේ ගැන විවේචන තිබෙනවා. එහෙත් වැරදි පුරුදු හා විනය රහිත බව සංස්කෘතික උරුමයක්ය කියා තව දුරටත් පවත්වාගෙන යන්නට ලී ඉඩ දුන්නේම නැහැ.
සිංගප්පූරුව ගැන සමීපව අධ්‍යයනය නොකළ හෝ කිසි දිනෙක එහි නොගිය උදවිය බොහෝ දෙනකු තුළ ඇති මනෝචිත‍්‍රය නම් දැඩි නීතිරීති හා දඬුවම්වලින් ගහන වූ දරදඬු රාජ්‍යයක් බවයි.
එරට පාරිසරික පිවිතුරු බව, පිළිවෙළට වැඩ කිරීම හා මාර්ග ආරක්ෂාව ආදී කරුණු සම්බන්ධයෙන් සාපේක්ෂව තදබල නීති ඇති බව ඇත්තයි. එසේම තරාතිරම නොබලා ඕනෑම කෙනකු වරදක් කළ විට අධිකරණ ක‍්‍රියා මාර්ග හරහා දඬුවම් දීම කැරෙනවා.
බටහිර විචාරකයන් බොහෝ විට හුවා දක්වන්නේ තහනම චුවිංගම් ගැනයි. 1992දී හඳුන්වා දුන් මේ තහනම බැලූ බැල්මට පෞද්ගලික නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීමක් සේ පෙනෙනවා. එහෙත් එයට හේතුව වූයේ චුවිංගම් රස උරා ගත් පසුව ඉතිරි වන ඇලෙනසුළු හපය ප‍්‍රසිද්ධ ස්ථානවල දමා යාමේ නරක පුරුද්දයි. 
චුවිංගම් පෝෂණය හෝ වින්දනය අතින් අත්‍යවශ්‍ය නොවූවක්. පදික වේදිකා, බස් හා දුම්රිය පොළ, බස් රථ හා දුම්රිය ඇතුළත මෙන්ම රඟහල්, පාසල් ආදී තැන්වලත් ඔහේ ඉවත දැමූ චුවිංගම් නගරය පිරිසිදුව තබා ගැනීමට මහත් බාධාවක් වුණා. එසේම ඒවා හරිහැටි ගලවා ඉවත් කිරීම වෙහෙසකර, වියදම් අධික කාරියක්. මහජන මුදල් ලක්ෂ ගණනක් නිතිපතා වියදම් කිරීමෙන් පසු සිංගප්පූරුව මේ තහනම හඳුන්වා දුන්නේ අන්තිම පියවර ලෙසයි.
2004දී චුවිංගම් තහනම මඳක් ලිහිල් කෙරුණා. ඖෂධමය චුවිංගම් දැන් එරට ඔසුසල්වලින් අලෙවි කරනවා. එහෙත් ඒවායේ හපය ප‍්‍රසිද්ධ තැනක ඉවත දැමීම ඉහළ දඩයක් ලැබෙන වරදක්.
චුවිංගම් පමණක් නොවෙයි, වෙනත් ඕනෑම ආකාරයක ඉවතලන දෙයක් නිසි සේ බැහැර නොකළොත් එයට ලොකු දඩයක් ගෙවීමට සිදු වෙනවා. පළමුවරට ප‍්‍රසිද්ධ ස්ථානවල කසල දැමීමේ වරදට දඩය සිංගප්පූරු ඩොලර් 2,000යි (රු. 995,000). දෙවන වතාවට හසු වූ විට ඩොලර් 4,000ක් හා ඉන් පසු යළි යළිත් වරද කරන අයට වරකට ඩොලර් 10,000 බැගින් දඩ නියම කැරෙනවා.
සිංගප්පූරුවේ තවත් තහංචි ගණනාවක් තිබෙනවා. කිසිදු ප‍්‍රසිද්ධ ස්ථානයක හෝ විවෘත අවකාශයක කෙළ ගැසීම, මුත‍්‍රා කිරීම, තාප්ප හෝ බිත්තිවල අකුරු ලිවීම හෝ පෝස්ටර් ගැසීමට ඉඩක් නැහැ. එසේම මහපාරේ පදික වේදිකාවල ගමන් කළ යුතුයි. පාර පැනීමට කහ ඉරි සළකුණු කර ඇති තැන් පමණක් යොදා ගත යුතුයි. මෙසේ නොකරන ඕනෑම අයකුට දඩ ගැසීම කරනවා.
එසේම නීතිරීතිවලින් පමණක් රට හදන්නට බැරි බව හොඳාකාර දත් ලී මහජනයා දැනුවත් කිරීම හා හොඳ පුරුදු වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කැම්පේන් ආකාරයේ වැඩසටහන් රැුසක් දියත් කළා.
2000දී බීබීසී සමග සම්මුඛ සාකච්ඡුාවකදී ලී කියා සිටියේ මෙයයි. ‘අපේ පවිත‍්‍ර බව හා සංවර බව ඉබේ ඇති වූවක් නෙවෙයි. එය ආයාසයෙන් ගොඩනංවා ගත් ජාතික පුරුදු සමුදායක්. සමාජයට අහිතකර ක‍්‍රියා තහනම් කොට ඉහළ දඩයක් නියම කිරීමෙන් අප නතර වුණේ නැහැ. මහජනයා දිගින් දිගමට දැනුවත් කළා. උද්යෝගය හා උනන්්දුව වර්ධනය කළා. ඒ සඳහා කැම්පේන් කළා. සමහර විදේශිකයෝ අපට සමච්චල් කරනවා – අප ආයා රාජ්‍යයක් (Nanny State) වැනියි කියා. එහෙත් මේ සියල්ල නිසා අප වඩාත් හික්මුණු, වගකීම් සහිත ජනතාවක් බවට පරම්පරාවක් තුළ පත්වී සිටිනවා’.
මුල් යුගයේ සිංගප්පූරු කැම්පේන් අතර කැපී පෙනුණේ 1968දී ඇරඹි ‘සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු’ හා 1971 පටන්ගත් රුක් රෝපණයයි. දැනුවත් කිරීමට අමතරව නාගරික නීතිරීති, ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රමිතීන්, වෙනත් කළමණාකරණ පිළිවෙත් ද විමර්ශනය කොට ප‍්‍රතිසංවිධානය කළා. 
එරට මොන වැඬේට අත ගැසුවත් මුල සිට අගට කළ යුතු සියල්ල හඳුනාගෙන, වැඬේ සාර්ථක වනතුරු අල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මහජනයා වෙතට යන කැම්පේන් අදියර ඇරඹුණේ අවශ්‍ය පරිපාලනමය හා සැළසුම් සම්බන්ධීකරණය හමාරකළ පසුවයි.
මේ හැම කැම්පේන් එකක්ම ඉහළ වෘත්තීය මට්ටමකින් සැලසුම් කොට බහු මාධ්‍ය හා වෙනත් ක‍්‍රියාකාරකම් යොදාගනිමින් දියත් කළා. දැන්වීම් කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන් හා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලැබුණා. උදාහරණයකට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන සියලූ කැම්පේන් කළේ වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මුල් කර ගෙනයි.
යහපත් සෞඛ්‍යයක් යනු ලෙඩ වූ විට බෙහෙත් දීම නොව, හැකි තරම් ලෙඩ රෝග වළක්වා ගැනීමයි. ලීගේ දැක්ම වූයේ සෞඛ්‍ය අධ්‍යාපනයට බොහෝ සම්පත් ලබා දී එය රටේ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙසින් කිරීමයි. මේ කැම්පේන් හරහා බෝවන රෝග (AIDS ඩෙංගු) වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය ගැනද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබා දුන්නා. කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ කරගන්න යයි ජනතාව දිරිමත් කෙරුණා.
1970 දශකයේ ක්ෂය රෝගය, කොළරාව, ලාදුරු ආදී බෝවන රෝග එරට තවමත් හමු වුණා. ඒවා පැතිරීම වැළැක්වීමට නිතර අත් සබන් ගා සේදීමට ද ජනතාව උනන්දු කෙරුණා. දුම්බීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව 1980 ගණන්වල පටන් ගත් කැම්පේන් අද දක්වා කර ගෙන යනවා. 
එයට අමතරව මවුකිරි දීමේ යුගය සමබර ආහාරවේලක ගුණය, මාර්ග නීති පිළිපැදීමේ වටිනාකම, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අගය ආදියද තවත් කැම්පේන්වල තේමා වූවා.
1980 හා 1990 දශක වන විට වඩාත් ඉසුරුබර රටක් බවට පත්ව සිටි සිංගප්පූරුව සම්පත් හා බලශක්ති සකසුරුවම්කම, මිනිසුන් අතර ආචාරශීලී බව, වයස 60ට වැඩිමහලූ අයට සැලකීමේ වැදගත්කම ආදී තේමා යටතේ ප‍්‍රබල කැම්පේන් දියත් කළා. එයට සමාන්තරව ජාතික ඵලදායීතාව දියුණුකිරීමේ වැඩ පිළිවෙලක් හා කැඩුණු ඉංග‍්‍රීසි වෙනුවට හොඳ නිවැරදි ඉංග‍්‍රීසි කතා කිරීම දිරිමත් කිරීමත් ඇරඹුනා.
මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. ආත්මාර්ථකාමී නොවී අන් අයගේ යහපත හා සුවදුක් ගැන සංවේදී වීමටත්, පොදු ස්ථානවල විනීතව හා ආචාරශීලීව හැසිරීමටත් ජනයා උනන්දු කළා. 
මුලින් මේ ව්‍යාපාරය ඇරඹුවේ එරටට මිලියන ගණනින් එන සංචාරකයන්ට ආචාරශීලී හා උදව් සහගත වීමට කියායි. එහෙත් ලී ගේ යෝජනාවකට අනුව එය එරට ජනයා එකිනෙකට සම්බන්ධ වන චර්යා සඳහාත් ව්‍යාප්ත කරනු ලැබුවා.
ජාතික ආචාරශීලීබව ප‍්‍රවර්ධනය කිරීමේදී ‘කරුණාකර’ හා ‘ස්තූතියි’ වැනි මූලික යෙදුම් භාවිතයේ සිට අන් අයට කරදරයක් නොවන ලෙස ජීවත්වීම, විනෝදාස්වාදය ලැබීම, මහමග යාම හා විනෝද චාරිකා යාම ආදිය කෙසේ කළ හැකිද යන්න පෙන්වා දෙනු ලැබුවා.
ජනතාවට බණ කියනු වෙනුවට රසවත්, ආකර්ශනීය ලෙස පණිඩුඩ සකසා පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු හා සංස්කෘතික සංදර්ශන ආදිය හරහා ඒවා බෙදාහැරියා. බොහෝ කැම්පේන්වලට කාටුන් චරිත, ඉෂ්ට ලංඡුන (Mascot) හා හාස්‍යරසය කාටුන් යොදා ගත්තා. සමහර විට දක්ෂ පොප්, රැුප් හෝ වෙනත් සංගීත කණ්ඩායම් තේමා ගීත නිර්මාණය කළා.
උදාහණයකට ආචාරශීලීබව පිළිබඳ කැම්පේන් සුරතලා ලෙස සිංගා නම් සිංහයෙක් නිර්මාණය කළා. වසර 30ක් පුරා සිංගා එරට ජන ජීවිතයේ සුපුරුදු අංගයක් වුණා. 1990 දශකයේ ඉන්ටනෙට් භාවිතය පැතිර ගිය පසු මේ කැම්පේන් වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා ද සමාජගත වුණා.
ජනයා වැඩිදෙනකු කාර්යාලීය ජීවන රටාවකට හුරු වන විට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව කියා දෙන්නට තවත් කැම්පේන් එකක් දියත් කළා. දිනකට පැය බාලයක්වත් යම් සක‍්‍රීය ව්‍යායාමයක් ගැනීම කොතරම් වැදගත්ද යන්න ඒ හරහා අවධාරණය කෙරුණා. මේ ව්‍යායාම රිද්මානුකූල හා විනෝදජනක ලෙසින් කිරීමට රට පුරා සංගීතමය වීඩියෝ හා වෙනත් උපදේශක මාධ්‍ය රටපුරා බෙදා හරිනු ලැබුවා.
ලී ට ඕනෑ වුණේ තුන්වන ලෝකයේ රටක් සේ නිදහස ලැබූ සිය කුඩා රාජ්‍යය පරම්පරාවක් තුළ පළමුවන ලෝකයේ රටක් බවට පත් කරන්න. එහිදී භෞතික යටිතල පහසුකම් තැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට අමතරව සමාජ ඒකාග‍්‍රතාවය, ජාතික අනන්‍යතාව හා රටවැසියන්ගේ අභිමානය ගැනද ඔහු ලොකු අවධානයක් යොමු කළා. ලෝකයේ කිසිඳු රටකට නොදෙවැනි රෝහල්, විද්‍යා පර්යේෂණාගාර හා සරසවි එරට බිහි කිරීමට නොමසුරුව රජයේ මුදල් ආයෝජනය කළා.
සංස්කෘතික වශයෙන් කලා, සාහිත්‍ය හා අනෙකුත් නිර්මාණශීලී ප‍්‍රවාහයන්ට ආධාර කළත් රජය ඒ ක්ෂේත‍්‍රවලට අනවශ්‍ය ලෙස අරක් ගත්තේ නැහැ. (නමුත් මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශන නිදහස ගැන නම් දැඩි සීමා පැන වූවා.) චීන, මැලේ හා ඉන්දියානු සම්භව්‍ය ඇති එරට වැසියන් අතර ජාතිවාදය මතු වන්නට ඉඩ දුන්නේ නැහැ. ආගම පෞද්ගලික ක‍්‍රියාවක් ලෙස කිරීමට නිදහස තබා රාජ්‍ය පාලනයට කිසි ආගමක් සම්බන්ධ කර නොගැනීමට ලී දූරදර්ශීව ක‍්‍රියා කළා.
සමහර විවේචකයන් සිංගප්පූරුව සිය ජනතාවට ඕනෑවට වඩා කළ-නොකළ යුතු දේ කියන, හැම දේටම ඇඟිලි ගසන රාජ්‍යයක් කියා හෙළා දකිනවා. එහෙත් මා හමු වී ඇති බොහෝ උගත් සිංගප්පූරු ජාතිකයන් පවා මේ කැම්පේන්වල ප‍්‍රතිඵල අගය කරනවා. මෙතරම් කෙටි කලෙකින් දියුණු රටක් බවට පත් වූයේ හුදෙක් කොන්ක‍්‍රීට් හා වානේ පිහිටෙන් නොව දුරදක්නා නුවණින් හා නොසැලෙන අධිෂ් ඨානයෙන් එරට මිනිසුන් දියුණු කිරීමයි. 
ලී ක්වාන් යූ ඉතිරි කර ගිය ලොකුම දායාදය එයයි!

නාලක ගුණවර්ධන

No comments:

Post a Comment