Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක දෙකෙන් එකක් ලෙස සැලකිය හැක්කේ දීර්ඝ කාලයක් ලංකාව භීතියෙන් සසළ කළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊය පරාජය කිරීමය. ලංකාවේ මාර්ග සිතියම මුළුමනින් නවීන කිරීම ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන ඊළඟ වැදගත් සාධකය වීයැ’යි කිව හැකිය.
නූතන ලංකා ඉතිහාසයේ ලොකුම දුෂ්ටයාගේ චරිතය රඟපෑ ප‍්‍රභාකරන් හා එම දුෂ්ටයා පරාජය කළ වීරයාගේ චරිතය රඟපෑ මහින්ද අතර සමහර දේවලදී අපූරු සමානත්වයක් තිබුණි. ප‍්‍රභාකරන් ඈත උතුරේ වැල්වැටිතුරෙයි කෙනකු වන විට මහින්ද ඈත දකුණෙහි මැදමුලනේ කෙනෙක් විය. නිල උගත්කම අනුව ගත් කල දෙදෙනාම උගතුන් ලෙස සැලකිය නොහැකිය. දෙදෙනාම උඩු රැුවුල වැදගත් කොට සැලකූහ. මුහුණේ පෙනුමෙන්ද දෙදෙනා අතර අපූරු සමානතාවක් තිබුණේය. දෙදෙනාම තමන් පරාජය කළ නොහැකි අපරාජිත නායකයන් වෙතැ’යි කල්පනා කළෝය. ප‍්‍රභාකරන් තමන් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා වේයැ’යි කල්පනා කරන විට මහින්ද කල්පනා කළේ ද තමා සිංහල වර්ගයාගේ ගැලවුම්කාරයා ලෙසය.
ජනාධිපතිවරයකු ලෙස කරළියට ඒමේදී ඒ සඳහා පැවති පළමු තරගයේදී ඔහුගේ ජයග‍්‍රහණය කෙරෙහි පුද්ගලයන් දෙදෙනකු තීරණාත්මක ලෙස බලපෑවේය. ඒ එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වා හා උතුරේ තමන් විසින් ගොඩනගා ගත් තත්ත්වාකාර රාජ්‍යයේ නායකයා ලෙස ක‍්‍රියා කළ ප‍්‍රභාකරන්ය. එහිදී අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහින්ද ඉදිරියේ තිබූ දුෂ්කර බාධක දෙකක් තරණය කරන්නට ඔහුට ආධාර කළේය. ඉන් එක උදව්වක් වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ දේශපාලන පැවැත්ම අවලංගු කරදීමය. දෙවැනි උදව්ව වූයේ මහින්ද පැටලී සිටි හෙල්පින් හම්බන්තොට අවුලෙන් ඔහු බේරාදීමය. ප‍්‍රභාකරන්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. දෙමළ ජනතාව ඡුන්ද වර්ජනයකට යවා රනිල්ට ජය ගන්නට තිබුණු ඉඩ අහිමි නොකළේ නම් එම තරගයෙන් මහින්ද පරාජය වන්නට ඉඩ තිබුණි.
මුලදී එල්ටීටීඊය සම්බන්ධයෙන් කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද යන්න ගැන මහින්දට පැහැදිලි දැක්මක් නොතිබුණි. එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කිරීමට තීන්දු කිරීමෙන් පසු ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ඊට නායකත්වය දුන්නේය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට සමත්වීම කෙරෙහි බලපෑ හේතු අතර ආරක්ෂක හමුදා වෙනදා නොතිබුණු කාර්යක්ෂමභාවයකින් හා අධිෂ්ඨානයකින් යුද්ධ කිරීමේ හේතුවට අතිරේකව එල්ටීටීඊය ඒ වනවිට ඓතිහාසික වශයෙන් පරිහානිය කරා යන ව්‍යාපාරයක් බවට පත්ව තිබීමේ සාධකයද බලපෑවේය. රනිල් වික‍්‍රමසිංහ පාලන කාලයේදී ක‍්‍රියාත්මක වූ සටන් විරාම වැඩසහන එල්ටීටීඊය කිසියම් දීර්ඝ කාලයක් යුද්ධ නොකර සිටින තත්ත්වයකට පත්කර තිබීම ඔවුන්ගේ යුදමය යාන්ත‍්‍රණය දුර්වල කරන සාධකයක් ලෙස බලපා තිබුණි. නැගෙනහිර නායකයා ලෙස ක‍්‍රියා කළ කරුණා එල්ටීටීඊයෙන් බිඳීයෑමද එල්ටීටීඊයේ යුද යාන්ත‍්‍රණය දුර්වල කරන සාධකයක් ලෙස ක‍්‍රියා කළේය. එතෙක් එල්ටීටීඊයට අවශ්‍ය මිනිස් සම්පත් සපයන ප‍්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක‍්‍රියා කළේ උතුර නොව නැගෙනහිරය. කරුණාගේ බිඳීයෑම නැගෙනහිරින් අතිරේක මිනිස් සම්පත් ලබාගැනීමට තිබුණු හැකියාව දුර්වල කළේය.
එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරමින් එම යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය මගින්ද යෝධයකු බවට පත්කරමින් රටේ අන් සියලූ නායකයන් අඟුටුමිට්ටන් බවට පත්කිරීමට හේතුවිය. ඒ සමග ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් තමන්ට කැමති තාක් තමන් කැමති ආකාරයට මේ රට පාලනය කිරීමේ අයිතියත් තමාට ඇතැ’යි සිතන තත්ත්වයක් ජයග‍්‍රාහී වීරයා තුළ ඇති කළේය. එම ජයග‍්‍රහණය ඔහු පරාර්ථකාමී ප‍්‍රඥාවන්ත නායකයකු බවට පත්කරනවා වෙනුවට ආත්මාර්ථකාමී හා අධිමානයකින් ක‍්‍රියාකරන අඥාන නායකයකු බවට පත් කළේය. ඒ නිසා යුද්ධය ජයගැනීමට සමත් වුවත් සාමය ඇති කිරීමට සමත් වූයේ නැත. භූමිය ඒකාග‍්‍ර කිරීමට සමත් වුවත් ජාතිය ඒකාග‍්‍ර කිරීමට සමත් වූයේ නැත. ඔහු ත‍්‍රස්තවාදියා තේරුම් ගනිමින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සමත් වුවද ත‍්‍රස්තවාදය ඇති කිරීමට හේතුවී තිබුණු සමාජ ආර්ථික හේතු තේරුම් ගැනීමට සමත් වූයේ නැත. අවසාන විග‍්‍රහයේදී තමන් පරාජය කළේ විදේශීය ආක‍්‍රමණික හමුදාවක් නොව යක්ෂාවේෂවී ක‍්‍රියා කරන තත්ත්වයකට පත් තමන්ගේම රටේ තරුණ පිරිසක් බව තේරුම් ගැනීමට සමත් නොවීය. යුද්ධය අවසන්වීමෙන් පසු දෙමළ ජනතාවට ඔවුන් අහිමි කර තිබූ ගෞරවය හා අයිිතිවාසිකම් හිමිකර දෙනවා වෙනුවට ඔවුන් යුද්ධයෙන් පරාජය කරන ලැබූ පරාදීන ජනතාවක් බවට පත් කළේය.
ඔහු තේරුම් ගැනීමට අසමත් වූ ඊළඟ වැදගත්ම දේ වනුයේ යුද්ධය අවසන් කරන අවස්ථාව වන විට දීර්ඝ කාලයක් අශීලාචාර වටාපිටාවක් තුළ පවතින්නට ඉඳින්නට සිදුවීම තුළ මේ රටේ සමාජ ක‍්‍රමය පමණක් නො ව දේශපාලන ක‍්‍රමය හා ඒ යටතේ තිබුණු ආයතන ක‍්‍රමයද තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට බැරිතරමට කුණුවී තිබුණු බවය. ඔහු ඒ තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට හේතුවන ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් කරළියට ගන්නවා වෙනුවට ඒ කුණුවී තිබුණු සමාජ දේශපාලන ක‍්‍රමය කරගහගෙන ඉදිරියට යන්නට උත්සාහ කළේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි මෙම නායකයා ධුර කාල දෙක සඳහා පනවා තිබූ සීමා ඉවත් කොට ධුර කාල දෙකෙන් පසුත් ජනාධිපති ධුරයට තරග කළ හැකි තත්ත්වයකට ක‍්‍රමය වෙනස් කළේය. තමන් කැමති තාක් ධුරයේ රැුඳී සිටීම ඔහුගේ අභිලාෂය විය.
මෙසේ ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා තමන් තුළ ප‍්‍රභාකරන්ගේ සමහර ගතිලක්ෂණ ආරෝපණය කරගන්නා තත්ත්වයකට පත්වූවේයැ’යි කිව හැකිය. 1978 සිට බලයට පත් හැම පාලකයෙකුම අඩු වැඩි වශයෙන් දූෂිත පාලකයෝ් වූහ’යි කිව හැකි වුවද ඒ සියලූ පාලකයන් අතර මහින්ද රාජපක්ෂ ¥ෂිතම පාලකයා ලෙස සැලකිය හැකිය. 1978න් පසු බලයට පත් හැම පාලක කණ්ඩායමක්මත් පොදු වස්තුව කොල්ලකෑවේය. පොදු වස්තු කොල්ලයේදී අන් සියලූ පාලකයන් අබිබවා රාජපක්ෂ පාලනය ඉදිරියෙන් සිටියේය. 1978න් පසු රට පාලනය කළ පාලකයන් අතුරින් වැඩිම බලයක් භුක්ති විඳි, පාලන බලයේදී වැඩිම කෑදරකමක් පෙන්වූ, වැඩියෙන්ම ආත්මාර්ථකාමී වූ, නීතියට ගරු නොකළ, ඥාති සංග‍්‍රහයට වැඩියෙන්ම බර තබා ක‍්‍රියා කළ, රස්තියාදුකාර හා පාදඩ බලවේගයන්ට වැඩියෙන්ම අනුගතවී ක‍්‍රියා කළ, මිථ්‍යා විශ්වාසයන්ට වැඩියෙන්ම බර තබා ක‍්‍රියා කළ, වර්ග භේදවාදය වැඩියෙන්ම ඔළුවට ගත්, පුරාජේරුව සඳහා වැඩියෙන්ම වියදම් කළ නායකයා මහින්ද රාජපක්ෂ ලෙස සැලකිය හැකිය.
ආණ්ඩුකාර එඞ්වඞ් බාන්ස්ගෙන් පසුව ලංකාවේ මාර්ග සිතියමේ ලොකු විප්ලවයක් ඇති කළ පාලකයා ලෙසද ඔහු සැලකිය හැකිය. බාන්ස් ආණ්ඩුකාරයාට ලංකාව පිළිබඳව තිබුණු ලොකුම සිහිනය වූයේ පාරවල්ය. ඔහු කීවේ ලංකාවට පළමුවද, දෙවනුව හා තුන්වැනිවද අවශ්‍ය වන්නේ පාරවල් බවය. අවසානයේ මහ පාරවල් ලෙස සැලකිය හැකි කිසිවක් නොතිබුණු රටක් ඔහු පාරවල්වලින් මනා ලෙස ඒකාබද්ධ කරන ලද රටක් බවට පත් කළේය. මහින්දගේ මාර්ග වැඩසටහනේ දූෂිත යටි අරමුණු තිබුණා වුවද එය රටේ අනාගත දියුණුව කෙරෙහි බලපාන වැදගත් සාධකයක් ලෙස ක‍්‍රියාකරනු නොවැළැක්විය හැකිය.
මහින්දගේ මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන රටේ අඛණ්ඩව ආර්ථික වර්ධනයක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා හිතාමතා පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් වනවා සේ ම මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයා ගැනීම සඳහා පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් වීයැ’යි ද කිව හැකිය. යටිතල පහසුකම් සංවර්ධනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආයෝජන වැඩසටහනේ අංක 1 බවට පත් කරගෙන තිබුණේය. ඔහු මෙම ක්ෂේත‍්‍රය සඳහා හැම වසරකම ඊට පෙර වසරට වඩා ලොකු ආයෝජනයක් කළ අතර ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. ඒ නිසා එම පාලන කාලයේදී එය ලොකුම සංවර්ධන වේගයක් පෙන්නුම් කළ අංශය වූ අතර එම සංවර්ධනය රටේ සමස්ත ආර්ථිකයේ අඛණ්්ඩ වර්ධනයක් පෙන්නුම් කිරීමටද හේතුවිය. මෙම ක්ෂේත‍්‍රය සඳහා මහා පරිමාණයෙන් කෙරෙන ආයෝජනයන් සඳහා අවශ්‍ය කරන ධනය ලබාගත්තේ වාණිජ ණය පදනමක් මත චීනයෙනි. ලංකාවේ පිහිටීමට ලැබෙන උපාය මාර්ගික වැදගත්කම හා ඉන් තමන්ට ලබාගත හැකි වාසි සලකා ලංකාව චීනයට ගැති තත්ත්වයක තබාගැනීම සඳහා චීනයද නිර්ලෝභී ලෙස ලංකාවට මහා පරිමාණයෙන් ණය මුදාහරින ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. ඒ නිසා රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මහා පරිමාණයෙන් අවශ්‍ය ආයෝජන වියදම් සොයා ගැනීම පහසු දෙයක් බවට පත්ව තිබුණි. මෙම ආයෝජනවල තරම අතිවිශාල වීම නිසාත් ඒ සඳහා කෙරෙන වියදම්වල ස්වභාවයද සංකීර්ණවීම නිසාත් ඉන් අයථා ලෙස උපයාගත හැකි පංගුවේ ප‍්‍රමාණයද ඉතා විශාල වීයැ’යි කිව හැකිය. මෙම විෂයෙහි විශේෂඥයකු ලෙස සැලකිය හැකි මහාචාර්ය අමල් ඇස්. කුමාරගේගේ ඇස්තමේන්තුවලට අනුව ගසා කා තිබෙන පංගුවේ ප‍්‍රමාණය මුළු ආයෝජන වියදමෙන් අඩක් තරම් විශාලය. ඒ අර්ථයෙන් මහින්ද වෙනත් පාලකයන්ට වෙනස්ව රටේ පොදු වස්තුව ගසා කා තිබෙන්නේ යටිතල පහසුකම් විෂයෙහි සේ ම රටේ ආර්ථික සංවර්ධනයේද ලොකු වර්ධනයක් පෙන්නුම් කෙරෙන වැඩසටහනකට මුවාවෙමිනි.
මහින්ද බලයට පත්වන විට ඔහු ඉපදුණු හම්බන්තොට දිස්ත‍්‍රික්කය රටේ තිබුණු දුප්පත් හා නොදියුණු දිස්ත‍්‍රික්ක තුන හතරෙන් එකක් විය. ඔහු හම්බන්තොටට ගම්භිර පෙනුමක් ලබාදීම සඳහා ක‍්‍රියාවට නගන ලද ව්‍යාපෘති සංඛ්‍යාව සේ ම ඒ වෙනුවෙන් කරන ලද වියදමද අතිවිශාලය. එහෙත් ඒවායින් වැඩි හරියක් ආර්ථික වශයෙන් ඵලදායී නොවන පුරාජේරු ව්‍යාපාර වූවා මිස එම දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ජීවිත යහපත් කිරීමට හේතුවන ව්‍යාපාර නොවීය. අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ඉදිකළද එහි ක‍්‍රිකට් තරග පැවතුණේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදී පමණය. එහි ඉදිකළ වරාය ඉඳහිට පමණක් නැව් එන අලාභ පිට පවත්වාගෙන යායුතු වරායක් වූ අතර මත්තල ඉදිකළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළද ගුවන්යානා නොඑන ගුවන්තොටුපොළක් විය. අවසාන විග‍්‍රහයේදී ඔහු හම්බන්තොටට දෙන ලද්දේද එහි දියුණුවට අවශ්‍ය දේවලට වඩා දියුණුවට බලනොපාන පුරාජේරු වටිනාකමක් ඇති දේවල්ය.
ප‍්‍රභාකරන් සේ ම මහින්දද තමන් සලකන ලද්දේ පරාජය කළ නොහැකි අපරාජිතයකු ලෙසය. ඔහු ඉක්මන් ජනාධිපතිවරණයක් ඉදිරියට ගත්තේද තනතුරේ තවත් අවුරුදු දෙකක් ඉඳීමට පුළුවන්කම තිබියදී කවරෙකුටවත් තමන් පරාජය කළ නොහැකියි කියන අන්ධ විශ්වාසය මත පිහිටාය. ඔහුගේ කාලයේ තරම් මිථ්‍යා විශ්වාසයන් රජ කළ කාලයක් තවත් නැති තරම්ය. ඔහු මිථ්‍යා විශ්වාසයන් ප‍්‍රචලිත කිරීමට උපරිම මට්ටමෙන් අනුබල දුන්නේය. ඔහුගේ පාලන කාලයේ සම්භාවනීය පුද්ගලයන් ලෙස සැලකුණේ, හොර ජාවාරම්කාරයන්,කළු සල්ලිකාරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, නමගිය අපරාධකාරයන් හැරුණු විට සාත්තරකාරයන් හා අණවිනකාරයන්ය. ඔහු තරම් තමන්ගේ දරුවන්ට පිස්සු නටන්නට ඉඩදී ඒවායින් ආස්වාදජනක හැඟීම් ඇති කරගත් වෙනත් පාලකයකු නැති තරම්ය. ඔහුගේ පරාජය කෙරෙහි ඔහුගේ රස්තියාදුකාර පාලන ශෛලිය සේ ම බිරිඳ, දරුවන් හා සහෝදර සහෝදරයෝද බලපෑවෝය. ඔහු 2015 ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විසින් පරාජය නොකරන්නට ඔහුගේ පාලනය වෙනස් කළ නොහැකි අපරාධකාරයන්ගේ රාජ්‍යයක් දක්වා විකාශනය වන්නට ඉඩ තිබුණි. ඔහුගේ පාලන කාලයේ තරම් අන්තර්ජාතික වශයෙන් ලංකාවේ ප‍්‍රතිරූපය කෙලෙසුණු කාලයක් තවත් නැති තරම්ය.
ඔහුගේ පරාජය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකය වූයේ තමන්ගේ අපරාජිතභාවය ගැන ඔහු තුළ තිබුණු මාන්නාධික අධිවිශ්වාසයයි. පරාජය ඇති කළ අන්දමන්දභාවය බලහත්කාරී ක‍්‍රියාමාර්ගයකට තල්ලූවීම වැළැක්වීයැ’යි කිව හැකිය. පරාජය විය හැකි බව දැන සිටියේ නම් ඔහු අතින් විය හැකිව තිබුණු දේවල් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ඔහුට නැවත බලයට පත්වීමට අවශ්‍යව ඇතත් තවත් ටික කාලයක් යනතෙක් කරදර ඇතිකිරීමට මිස නැවත පාලන බලයට පත්වීමේ කවර හැකියාවක්වත් ඔහුට නැත.
යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණයත් සමග මානයෙන් හිස උදුම්මවා නොගෙන යුද්ධය පිටුපස ඇති මහා අර්බුදය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව ඔහුට තිබුණේ නම් යුද්ධයෙන් ඒකාග‍්‍ර කළ භූමියට ඒකාග‍්‍ර කළ ජාතියක්ද ඇතිකර දෙන්නට සමත් වී නම් හා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇති කරන්නට සමත් වී නම් මහින්දගේ නම ඉතිහාසයට එකතු විය යුතුව තිබුණේ ශ‍්‍රී ලංකාව ගලවා ගත් වීරයා ලෙසය. එහෙත් ඒ වෙනුවට දැන් ඔහුගේ නම ඉතිහාසයට එකතුවෙමින් තිබෙන්නේ ආත්මාර්ථකාමී අශීලාචාර පාලකයකු වශයෙනි.
වික්ටර් අයිවන්
No comments:
Post a Comment