HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Monday, April 13, 2015

මාතර කෝවිල හින්දුන්ට තහනම් !


15 March 2015 'රාවය' පුවත්පත. 
මාතර නගර මධ්‍යයෙන් දොස්තර සුගීශ් වර වික‍්‍රමසිංහ පාරට හැරී මද දුරක් ගිය විට මාතර ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් කෝවිල මුණගැසේ. මෙම කෝවිල අවුරුදු 100කට වඩා පැරණි බව පැවසේ. එහෙත් අදාළ කෝවිල් බිමට ගිය මා හට දැකගන්නට ලැබුණේ අතිශය නවීනත්වයට පත් පූජා ස්ථානයකි.
ඇතුල්වන තැනම වීදුරු මාළිගයක විජය-කුවේණිය ප‍්‍රතිමා දක්නට ලැබේ. දැන් මෙය විජය-කුවේණියට වැඳුම් පිදුම් කරන ස්ථානයක් දැයි සිතට නැගේ. පසුව කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ අවුරුදු 100ක් වන කෝවිල් බිම මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ දීර්ඝකාලීන කැපකිරීමක ප‍්‍රතිිඵලයක් ලෙස නවීනත්වය වැළඳගෙන ඇති බවයි. අවුරුදු 100ක් පැරණි මෙම කෝවිලට අද දෙමළ ජනයාට යෑම තහනම්ය. කෝවිල දැන් සිංහල භාරකරුවෙක් මෙන්ම සිංහල ස්වාමිවරයෙක් යටතේ සිංහලකරණය කර ඇත. මාතර නගරයේ දෙමළ ජනයා කෝවිල වැඳුම් පිදුම් කරන්නට දෙන්න යැයි ඉල්ලූ විට සිංහල-දෙමළ වර්ගවාදී භීෂණයක් මුදා හරිමින් ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය කෙළෙසමින් තිබෙන්නේ කෝවිලේ වර්තමාන භාරකරු යැයි කියන පුද්ගලයා සහ ඔහුගේ අතවැසියන්ය.
කෝවිලේ ඉතිහාසය
මෙම කෝවිලේ ඉතිහාසය 1910 වර්ෂය තෙක් ඈතට දිවේ. ගාලූ දුම්රිය මාර්ගය 1905 වන විට මාතරට දීර්ඝ කරන පසුබිම තුළ කතරගම වන්දනා කිරීම සඳහා සුවිශාල බැතිමතුන් පිරිසක් උතුරින්-නැගෙනහිරින් මාතරට පැමිණේ. ඔවුන්ගේ ගමන් විඩාව දුරලා ඔවුන්ට නවාතැන් ගෙන නැවත වන්දනාවට එකතුවීම සඳහා මුලින්ම මෙම ස්ථානය මඩමක් ලෙස 1910 වර්ෂයේ නිර්මාණය කර ඇත. පසුව කෝවිලක් වන මේ භූමියේ කතාව ආරම්භ වන්නේ මෙලෙසින්ය.
මෙම කෝවිල් භූමියේ මුල්ම භාරකරු වන්නේ ශ‍්‍රීමත් අම්බලවානර් කනගසබේ මහතාය. මෙම කාලයේ කෝවිල සහ විශ‍්‍රාම ශාලාව භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වී ඇත. කලින් කලට භාරකාරත්වය වෙනස් වෙමින් පැමිණ 1951 අංක 3537 දරණ ඔප්පුවෙන් නාගරත්නම් පිල්ලෙයි ක‍්‍රිෂ්ණදාසන් යන අයට පවරා ඇත. ඔහුගේ කාලයේදී කෝවිල් භූමිය තවත් සුවිශාල වන අතර දුම්රිය පොළට වන ප‍්‍රවේශ මාර්ගය ද වැඩිදියුණු වෙයි. 1910 සිට ආරම්භ වී වැඩිදියුණු වූ මෙම කෝවිල් භූමිය 1977 දී සහ 1983 දී අවස්ථා දෙකකදී රුදුරු වර්ගවාදී ප‍්‍රහාරයන්ට ලක්ව විනාශ වී ඇත. 1983 කළුජූලිය අවස්ථාවේදී මෙම කෝවිල් භූමිය සම්පූර්ණයෙන්ම විනාශ කළ බව කියන්නේ එකල සිටි තවමත් මාතර වෙසෙන දෙමළ ජනතාවය.
කෝවිල ගැන මතකය
‘මම පොඩි කාලේ ඉඳලා මේ කෝවිලට යනවා. ඒ කාලේ හිටියේ නාරායනන් ස්වාමි කියලා මලයාලම් ස්වාමි කෙනෙක්. ක‍්‍රිෂ්ණදාසන් මහත්තයා 1958 කෝවිල ලොකු කරලා හැදුවා. කුම්භාභිෂේක උත්සවයකුත් කළා. ඒ කාලේ මල් කඩලා දෙවියන්ට මල් මාලා හදන්නේ අපි. ඒ දවස්වල මාතර දෙමළ පවුල් 100කට වැඩිය හිටියා. එයාලා හැමදාම මේ කෝවිලට ආවා. කතරගම දේවාලයේ වන්දනා නඩ නිසා ඒ කාලේ මේ කෝවිල ලංකාවෙම ප‍්‍රසිද්ධයි. 1983 කළුජූලිය නිසා කෝවිල විනාශ වුණා. හිටිය දෙමළ අය ගොඩක් ඉන්දියාවට, යාපනයට ගියා. එතනින් පස්සේ කෝවිලට හොඳ කාලයක් ලැබුවේ නැහැ.’ කෝවිල ගැන කළුජූලිය ගැන මෙලෙස හඬ අවධි කළේ මාතර එස්්. මාරිඅම්මා ය. දැන් ඇය වයසට ගොසිනි. කෝවිල් භූමිය විනාශ කර එහි තිබුණ වටිනා කියන දෑ සිංහල මිනිසුන් පොදිගසාගෙන පැනගිය හැටි ඇය මතකයට නගන්නේ දුක් කන්දක් හද තුළ පොදි බැඳගෙනය.
මෙලෙස විනාශයට පත්වන කෝවිල් බිම නැවත අළු දුහුවිලි මතින් නැඟී සිටින්නේ නැසීගිය ජනපති පේ‍්‍රමදාස මහතා නිසාය. ඔහු කඹුරුගමුව ගම්උදාව අවධියේ මෙම පුදබිම පිළිසකර කර නැවත දමිළ ජනතාවට විවෘත කරන්නේය. එකල ඇමතිව සිටි ආරුමුගම් තොන්ඩමන් මහතා දකුණු ඉන්දියාවෙන් මුරුගන් පිළිමයක් ද රැුගෙන විත් මෙහි කුම්භාභිෂේක මංගල්‍යයක් කළ බව පැරැුන්නෝ පවසන්නේ හදපිරි සොම්නසිනි. එහෙත් අද වනවිට මේ කිසිවක් කෝවිලේ දක්නට නැත.
ගම්උදාවෙන් පසුව නැවතත් කෝවිල යම් පරිහානී තත්ත්වයකට පත්වන අතර එයට හේතුව වන්නේ පීටර් සිල්වා නමැති මාතර නගරයේ චණ්ඩියෙක් මෙම ස්ථානයට බැල්ම හෙළීමය. පීටර් සිල්වා නමැති චණ්ඩියා පද්මන් නමැති පුද්ගලයෙක් මෙම ස්ථානයේ භාරකරු ලෙස පත් කළ බව ද ඔහුගේ පාලනය නිසා නැවතත් ප‍්‍රදේශයේ දෙමළ-සිංහල ජනතාව කෝවිලෙන් ඈත් වූ බවද කියන්නේ කෝවිල අවට මිනිසුන්ය. පද්මන්ගෙන් පසුව මෙම ස්ථානය පාලනය සඳහා බලහත්කාරයෙන් පැමිණෙන්නේ පී.එච්. ධර්මදාස යන අයෙක්ය. පසුව ඔහු මෙම කෝවිල් භූමියේ හිමිකාරත්වය සඳහා තමනට ඇටෝනි බලයක් ඇතැයි කියනු ලැබේ. ඉන්පසු ඔහු තම බිරිඳ දරුවන් සමඟ මෙම කෝවිල් බිමේම පදිංචි වී පරිපාලන කටයුතු කරන අතර කෝවිල් භූමිය වාහන ගාල් කිරීම වැනි ව්‍යාපාරික අවස්ථා සඳහා යොදවමින් අති විශාල ධනයක් උපයා ඇත. මේ වනවිට කෝවිලේ ස්වාමිවරය ලබාගෙන එය මෙහෙයවමින් සිටින්නේද මෙම ධර්මදාස නමැත්තාගේ පුතාය. දැන් ඇති වී තිබෙන මේ ප‍්‍රශ්න රැසට හේතුවත් මේ පුද්ගලයාමය.
2001
කෝවිල් භූමියේ පරිහානිය දෙස බලා 2001 වර්ෂයේදී සිංහල-දෙමළ බැතිමතුන් එකතු වී කෝවිලට නව පූජකයෙක් ගෙන එන්නෝය. ඒ සඳහා එවක මාතර පොලිස් අධිකාරී දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාද කෝවිලේ භාරකරු ලෙස පෙනී සිටින ධර්මදාස යන අයද ආශිර්වාද කර ඇත. 2001 වර්ෂයේදී නව ස්වාමිවරයා කෝවිලට පැමිණි පසු නැවත සිංහලුදෙමළ බැතිමතුන් වැඳුම් පිදුම් සඳහා කෝවිලට එකතු වන අතර වාර්ෂික පෙරහර මංගල්‍යයක් ද ආරම්භ කරයි.
‘මගේ නම පෙරිය අන්නන් නලල්වඩි ධර්මරාජ්. මාව මෙහාට එක්කරගෙන ආවේ 2001 මහා ශිව රාත‍්‍රී වලට. ඊට පස්සේ මාතර නගරයේ ඉන්න දෙමළ පවුල් ආයිත් එන්න පටන් ගත්තා. අවුරුද්දෙන් අවුරුද්ද මෙතන දියුණු වුණා. සිංහල පවුල් 4000ක් විතර නිතර කෝවිලට ආවා. අපි වාර්ෂික පෙරහැර මංගල්‍යය කළා. කෝවිලේ දියුණුවයි මට මිනිස්සුන්ගේ තියෙන කැමැත්තයි නිසා භාරකරු කියලා කියාගන්න ධර්මදාස බයවෙන්න ඇති. ඔහු පෙරහර නවත්වන්න උසාවි ගියා. මට අවස්ථා කිහිපයකදී මැරයෝ දාලා ගැහැව්වා. මාතර දිසා අධිකරණයේ නඩුවක්් දාලා මට පූජා පවත්වන්න කෝවිල් භූමියට ඇතුල්වෙන්න තහනම් කළා. අපි අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණය ඒ අතුරු තහනම ඉවත් කරලා බැතිමතුන්ට නැවත කෝවිලට යන්න අවස්ථාව සලසලා දෙන්න කිවුවා. අපි පොලීසියේ පැමිණිල්ලක් දාලා ගියා. කෝවිලට යන්න දුන්නේ නැහැ ධර්මදාසයි, එයාලගේ පුතයි මැරයොයි අපිට ගැහැව්වා. පොලිසිය නීතිය ක‍්‍රියාත්මක කළේ නැහැ. දැන් ඉන්න ඞී.අයි.ජී. මහත්තයා ධර්මදාසට ඕනි විදිහටට තමයි වැඩ කරන්නේ. මේ කොවිල මේ තත්ත්වයට ගත්තේ මේ ඞී.අයි.ජී. මහත්තයා තමයි. අද කෝවිල වහගෙන විනාශ වෙන්න අරින්නෙත් ඔහුමයි.’
ආරවුල් කෝටියක්
තිස්තුන් කෝටියක් දෙවිවරු සිටින රටේ මේ ප‍්‍රශ්නය විසඳන්න එකදු දෙවියෙක්වත් අද නැත. කතරගම දෙවියන්ද දෑස් වසාගෙනය. ඒ නිසා මාතර කෝවිලේ ගැටලූව අද වනවිට නූල් බෝලයක් තරමට පැටලිලි සහගතය. ධර්මදාස පාර්ශ්වය කෝවිලේ නව ස්වාමි පෙරිය අන්නන් දූෂිතයකු බවද කෝවිල විනාශ කරන බවද ඔහු නිසා කෝවිල පාලනය කළ නොහැකි බවද කියමින් සිටී. ධර්මදාස පාර්ශ්වය තමන්ට සහ තමන්ගේ බැතිමතුන්ට කෝවිල් භූමියට ඇතුල්වන්නට ඉඩ නොදෙන බවද ප‍්‍රහාර එල්ල කරන බවද ස්වාමිවරයාගේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවයි. මෙම චෝදනා ප‍්‍රති චෝදනා මත මොවුන් කිහිප වාරයක් පොලිසි මෙන්ම අධිකරණයටද ගොස් ඇත. මේ හබය මේ වනවිට කොතරම් දුරදිග ගොස් ඇත්දැයි පෙනෙන්නේ ධර්මදාස පාර්ශ්වය අධිකරණ තීන්දු ද නොපිළිගන්නා තැනට පත් වී ඇති තත්ත්වය තුළය. ඔවුන් අභියාචනාධිකරණයේ නඩු තීන්දුව බල්ලාට දමා කටයුතු කර ඇත. නීතිය සුරක්ෂිත කිරීමට නීතිය බලාත්මක කිරීමට සිටින පොලීසිය මෙම ප‍්‍රශ්නයේදී ඇස් වසාගෙන සිටීමේ චෝදනාව ඉලක්ක වන්නේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.
මටයි මගේ දුවටයි ගැහැව්වා
‘ස්වාමිට නැවත කෝවිලට යන්න පූූජා කටයුතු සිද්ධ කරන්න අධිකරණය අවසර දුන්නාට පස්සේ අපි 2015.01.22 ජ04 169/265 කියන අංකය යටතේ පැමිණිල්ලක් දාලා මාතර පොලිසිය දැනුවත් කරලා 2015.01.23 කෝවිල ඇතුළට ගියා. ඒ වෙලාව් කඩු පොලූ අරගෙන ආපු ධර්මදාසයි, එයාගේ ගෝලයොයි අපිට හොඳටම පහර දුන්නා. මගේ දුවට හොඳටම ගැහැව්වා. එයා රෝහලටත් ඇතුල් කළා. මගේ ජංගම දුරකථනය, රන් මාලය නැති වුණා. අපි ආයෙත් 2015.01.23 පොලිසියට පැමිණිල්ලක් කළා. ඒත් වැරදිකරුවන්ට දඬුවම් තවමත් නැහැ. අපි සැරින් සැරේ ගිහින් පොලිසියෙන් ඇහැව්වාම මේ පැමිණිල්ලට ගත්ත ක‍්‍රියාමාර්ග මොනවද කියලා එයාලා කියනවා ඔවුන්ට කරන්න දෙයක් නැතිලූ.. අපි මේවා කාටද කියන්නේ.’
මේ හඬ මල්කාන්ති වනිගසේකරගේය. ඇය පවසන පරිදි ඇයට ප‍්‍රහාර එල් කළ අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ පොලිසියේ ඉහළම තැනකින් එය පාලනය කරන නිසාය. අධිකරණය දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය බැඳී සිටින තත්ත්වයක් තුළ තවමත් අදාළ පූජකයාට හෝ බැතිමතුන්ට කෝවිල් භූමියට ඇතුල්වන්නට අවසර නැත්තේ මන්ද? සොයා බැලිය යුතුය.
කෝවිල රජයට පවරාගත යුතුයි
2013 වර්ෂයේ සිට ප‍්‍රදේශයේ සිංහල-දෙමළ සමගියටද බලපෑම් එල්ල කරමින් ඇවිලී යන මෙම කෝන්තරය සමනය කිරීම සඳහා හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වහාම මෙම පුදබිම රජයට පවරා ගත යුතු යැයි 2013.05.29 වන දින ලිපියක් මගින් යෝජනා කරයි. මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමුවන එම ලිපියත් සමග මෙම පුදබිම රජයට පවරා ගන්නා ක‍්‍රියාවලිය ආරම්භ වෙන අතර එයට අදාළව බී. රණවීර මාතර ප‍්‍රාදේශීය ලේකම්වරයා යෝජිත ඉඩමේ විස්තර සමගින් ඉඩම් අත්පත් කර ගැනීමේ ඉල්ලූම් පත‍්‍රයක් බුද්ධ ශාසන අමාත්‍යාංශයට යොමු කර ඇත. ඔබගේ අනුමැතිය සහිතව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් වෙත එම ලිපිය යොමු කරන්න යැයි එමගින් ඔහු ඉල්ලා ඇත. එහෙත් අද වනවිට මෙම පවරා ගැනීමේ ක‍්‍රියාවලිය අතර මඟ නතර වී ඇත. එයට හේතුව දන්නේද කතරගම දෙවියන්ම පමණි. ප‍්‍රාදේශීය ලෙකම්වරයා බුද්ධ ශාසන අමාත්‍යාංශයට යොමු කළ ඉහත ලිපියට අනුව මෙම භූමියේ වටිනාකම රුපියල් මිලියන දෙසීය තිහකි. මෙවැනි වටිනා ඉඩමක් තමන් සතු කර ගන්නට මිනිසුන් පොර ඇල්ලීම සාමාන්‍ය දෙයක් ලෙස සිතිය හැකිය. එහෙත් එම ක‍්‍රියාවලිය රටක ජාතික සමගියට, ආගමික නිදහසට සුවිශාල බලපෑමක් කරන්නේ නම් රජය එයට වහාම මැදිහත් විය යුතුය. මෙම කෝවිල් භූමිය හා සම්බන්ධ ඉදිකිරීම් තුළ දැවැන්ත මූල්‍යමය වංචාවක් සිදුවී ඇති බව ප‍්‍රකාශ කරන්නේ ද ප‍්‍රදේශයේ බැතිමතුන්ය. එම දූෂිත ක‍්‍රියාවන්වලට පොලිසියේ ඉහළ නිලධාරීන්ද සම්බන්ධ බවට ගෙන යන ප‍්‍රචාර බරපතළය. මෙනිසා රජය වහාම මැදිහත් වී මෙම ගැටලූව නිරාකරණය කර හින්දු බැතිමතුන්ගේ ආගමික නිදහස සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුය. කෝවිල මුල් කරගනිමින් යමෙක් මාතර ප‍්‍රදේශයේ ජාතිභේදය අවුළුවාලන්නට කටයුතු කරන්නේ නම් එයද සොයාබලා අදාළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතුය.
අද දවස වනවිට ලංකාවේ ආගමික ස්ථාන මුදල් හරිහම්බ කරන ව්‍යාපාරික ස්ථාන බවට පත්වී හමාරය. මෙම ආරවුල්වල මූලයන් ද මේ හා බැඳෙනු නිසැකය. එනිසා මෙවැනි ස්ථාන රජයට පවරාගෙන වහාම භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය කළ යුතුය.

කේ. සංජීව

No comments:

Post a Comment