Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
මියගිය සිංගප් පූරුවේ නිර්මාතෘ වරයා ඉතාමත් නොදියුණු පුංචි දූපතක්, ආදායමෙන් හා ජීවන තත්ත්වයෙන් පළමු ලෝකය හා කරට කර තැබිය හැකි දියුණු තත්ත්වයකට පත් කළේය. 1959දී ඩොලර් 1240ක මට්ටමක පැවති ඒක පුද්ගල නිෂ්පාදනය 1990දී ඩොලර් 18427ක් දක්වා වර්ධනය විය. 1959දී 13.5%ක පැවති විරැුකියා අනුපාතිකය 1990දී 1.7% දක්වා පහත වැටුණි. බාහිර වෙළෙඳාම එම කාලය තුළ ඩොලර් බිලියන 7.3 සිට ඩොලර් බිලියන 205 දක්වා වර්ධනය විය. එම කාලය තුළ පොදු තට්ටු නිවාස සංඛ්‍යාව 22975 සිට 667575 දක්වා වර්ධනය විය. 1960දී රටට විදේශ අමුත්තන්ගේ පැමිණීම මිලියන 01ක් වූ අතර 1990 එය මිලියන 5.3ක් විය.
ආර්ථික දියුණුවේදී එය පළමු ලෝකය සමග කරට කර සිටින පුංචි රටක් ලෙස සැලකිය හැකි වුවද දේශපාලන නිදහසේදී එය සිටින්නේ දියුණු තැනක නොව පසුගාමී තැනකය. එය විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල ක‍්‍රියාකාරීත්වය බෝඞ් ලෑලිවලට සීමාකර තිබෙන අතර 1959 සිට අද දක්වා රට පාලනය කරන්නේ ලී ක්වාන් යූගේ PAP (ජනතා ක‍්‍රියාකාරී පක්ෂය) පක්ෂයයි. පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාව 84ක් වනවිට විරුද්ධ පක්ෂයට තිබෙන්නේ ඉන් ආසන තුනක් හෝ හතරක් පමණය. විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල නායකයන් නඩු පැවරීම් මගින් බංකොළොත් කිරීමේ හා රටින් පලායන්නට බලකෙරෙන සියුම් සංවිධානාත්මක ව්‍යාපාරයක් එහි ක‍්‍රියාත්මක වේ. විවේචනාත්මක ජනමාධ්‍ය කලාවකට සිංගප්පූරුවේ ඉඩක් ඇත්තේම නැති තරම්ය.
දේශපාලන නිදහස නැතිව ආර්ථික දියුණුව ගැන පමණක් සිහින දකින රටකට සිංගප්පූරුව හොඳ ආදර්ශයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ආර්ථික දියුණුවට අතිරේකව දේශපාලන නිදහසද අපේක්ෂා කරන රටකට සිංගප්පූරුව හොඳ ආදර්ශයක් වන්නේ නැත.
සිංගප්පූරුව බිංදුවේ සිටින විට ලී ක්වාන් යූගේ සිිහිනය වූයේ ලංකාවය. සිංගප්පූරුව ලංකාවක් කිරීම ඔහුගේ සිහිනය විය. එහෙත් ලංකාව ඒ සඳහා තෝරාගත හැකි හොඳ ආදර්ශයක් නොවන බව තේරුම් ගත් වහාම සිංගප්පූරුව ලංකාවක් කිරීමේ අදහස අත්හැරීය. ඉන්පසු සිංගප්පූරුව වේගයෙන් දියුණුව කරා යන රටක් බවට පත්වූ විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආදර්ශ මාදිලිය වූයේ සිංගප්පූරුවයි. ලංකාව සිංගප්පූරුවක් කිරීමට ඔහු සිහින දැක්කේය. විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය බෝඞ් ලෑලිවලට සීමා කොට එක දිගට හැමදා එකම පක්ෂයක් බලයේ සිටීමට අවස්ථාව ලබාදෙන දේශපාලන ක‍්‍රමයක් ඔහු ස්ථාපිත කළේ සිංගප්පූරුව ආදර්ශයට ගනිමිනි. එවැනි ඒක පාක්ෂික ක‍්‍රමයක් ඇති කරගත් පසු ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරගත හැකිවනු ඇතැ’යි ඔහු විශ්වාස කළේය. එහෙත් සිංගප්පූරුවේ ජනතාව මෙන් නොව ලංකාවේ ජනතාව ජේ.ආර්.ගේ එම සිහිනය සැබෑ කරගන්නට ඉඩ නොදුන්නේය. මහා ලේ වැගිරීම් ඇතිවීමෙන් පසු එම සිහින ව්‍යාපෘතිය අතහැර විශ‍්‍රාම යෑමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තීන්දු කළේය.
ඊළඟට එම සිහින වැඩපිළිවෙළ ක‍්‍රියාවට නගන්නට උත්සාහ කළ පාලකයා වශයෙන් සැලකිය හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඔහුගේ සිහිනය වූයේද විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය බෝඞ් ලෑලිවලට සීමා කොට දීර්ඝකාලීන තනි පක්ෂ පාලන ක‍්‍රමයක් පවත්වාගෙන යෑමය. ලී ක්වාන් යූ තමාගෙන් පසු තමාගේ පුතා කරළියට ගත්තා සේ තමාගෙන් පසු නාමල් කරළියට ගෙන දීර්ඝකාලීන පවුල් පාලනයක් පවත්වාගෙන යෑමට ඔහු සිහින දැක්කේය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය නිසා ඒ සඳහා තිබූ සියලූ සැලසුම් හකුළාගෙන ගෙදර යන්නට ඔහුටද සිදුවිය.
දියුණු රටක් සඳහා ආර්ථික දියුණුව අත්‍යවශ්‍ය හා වැදගත් කොන්දේසියකි. එහෙත් දේශපාලන නිදහස නොසලකා ආර්ථික දියුණුව පමණක් අත්පත් කරගත් රටක් යහපත් රටක් ලෙස සැලකිය නොහැකිය. ආර්ථික දියුණුව අත්පත් කරගැනීමේ අරමුණින් රාජ්‍යයේ සකලවිධ බලය තනි පුද්ගලයකු අතට පත්කරන ක‍්‍රමයක් අවසානයේ ඇති කරන ප‍්‍රතිඵල ඉතා විනාශාකාරී විය හැකිය. සිංගප්පූරුවේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක තිබුණද දේශපාලන නිදහසේදී ඔවුන් ඉන්නේ පොහොසත් තැනක නොව, ඉතා දුප්පත් තැනකය. ශ‍්‍රී ලංකාව ඉලක්ක කරගත යුතුව තිබෙන්නේ දේශපාලන නිදහසද ආරක්ෂා කරගනිමින් ආර්ථික දියුණුව කරා යන මාවතකි. නිදහසට ඇති කැමැත්ත මනුෂ්‍ය ලක්ෂණයක් වන අතර ඒ නිදහස අතහැර ආර්ථික දියුණුව ගැන පමණක් කල්පනා කරන තැනකට තල්ලූවහොත් ඒ මගින් අත්පත් කරගන්නා දියුණුව යහපත් දියුණුවක් ලෙස සැලකිය නොහැකිය.
ලී ක්වාන් යූ ඉතා දක්ෂ ලෙස තමන් රටේ ජනතාව අතර පවතින වාර්ගික ආවේගයන් කළමනා කරණය කළ පාලකයකු ලෙස සැලකිය හැකිය. ඒ සමග ශ‍්‍රී ලංකාවේ අසාර්ථකභාවය ගැනද ඔහුට හොඳ විචාරයක් තිබුණි. ශ‍්‍රී ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ලොකුම හේතුව ලෙස ඔහු හුවා දක්වා තිබෙන්නේද වාර්ගික ආවේගයන් කළමනාකරණයේදී ශ‍්‍රී ලංකාවේ පාලකයන් දක්වා තිබෙන අදක්ෂභාවයයි. ලී ක්වාන් යූට ශ‍්‍රී ලංකාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණි. ඔහුගේ රචනාවලදී ඔහු අසාර්ථකභාවය සඳහා නිදර්ශනය කොට දක්වන රට බවට පත්කරගෙන තිබුණේද ශ‍්‍රී ලංකාවය.
ඔහු ලංකාව පිළිබඳව ලියන ලද සටහන්වලදී එස්ඩබ්ලිව්ආර්ඞී බණ්ඩාර නායක, සිරිමාවෝ බණ්ඩාරනායක හා ඩඞ්ලි සේනානායක ගැන සේ ම ඒ සියලූදෙනාට වැඩියෙන් ජනාධිපති ජේආර් ජයවර්ධන ගැනද සඳහන් කර තිබේ. වඩා ප‍්‍රකට නමක්ව තිබූ ලංකාව යන නම වෙනුවට ශ‍්‍රී ලංකාව යන නම යෙදීම ඔහු තුළ හාස්‍යයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. ඔහු කියන්නේ අලූත් නම යොදාගැනීමෙන් පසුත් ලංකාවේ තේ විකිණෙන්නේ ‘ශ‍්‍රී ලංකා තේ’ වශයෙන් නොව ‘ලංකා තේ’ වශයෙන් බවය.
ඔහු එයාර් ලංකා ගුවන් සමාගම ගැන කියන කතාව අපට වැදගත්ය. ජනාධිපති ජේආර් ජයවර්ධන රජයට අයත් එයාර් ලංකා සමාගම වැඩි දියුණු තත්ත්වයකට ගැනීමට ලී ක්වාන් යූගෙන් උදව් ඉල්ලා සිිටියේය. ගුවනින් කරන ගමනා ගමනයේදී රටකට ගුවන් සමාගමක් නැතිව වුවත් විදේශීය ගුවන් සමාගම්වල සේවාවන් යොදා ගැනීම මගින් ඒ අඩුව සපුරාගත හැකි නිසා ගුවන් සමාගමක් ගැන කල්පනා කරන්නට පෙර රටේ අභ්‍යන්තර ගමනාගමන පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ගැන සලකා බලන ලෙසත්, ඒ අරමුණ සපුරා ගැනීමෙන් පසුව ගුවන් ප‍්‍රවාහනය ගැන කල්පනා කිරීම වඩා සුදුසු බවත් ලී ක්වාන් යූ ජනාධිපති ජයවර්ධනට කියා තිබේ. එහෙත් ජනාධිපති ජයවර්ධන ඒ ගැන තමන් දරන ලද අදහස අත්හරින්නට කැමති වී නැත. අවසානයේ එයාර් ලංකා සමාගම වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණ හා වෙනත් ආධාර ලබාදීමට ලී ක්වාන් යූ කැමති වී ඇතත්, ජනාධිපති ජයවර්ධන කල්පනා කරන විදිය ඔහුගේ සතුටට හේතුවී නැත.
සිංගප්පූරු ගුවන් සමාගමේ ගුවන් නියමුවකු ලෙස වැඩ කරමින් සිටින රඛිත වික‍්‍රමනායක එයාර් ලංකා සමාගමට මුදාහරින ලෙස ජනාධිපති ජයවර්ධන ලී ක්වාන් යූගෙන් ඉල්ලා තිබෙන අතර ලී ක්වාන් යූ ඒ ගැන ලියා තිබෙන සටහනක වික‍්‍රමනායක ගුවන් නියමුවකු පමණක් බැවින් එවැනි පුද්ගලයකු යොදා ගුවන් සමාගමක් පාලනය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මතු කර තිබේ. ජනාධිපති ජයවර්ධනට උදව් කිරීම පිණිස සිංගප්පූරු එයාර් ලයින් සමාගමේ සේවකයන් 80ක් තාවකාලික පදනමක් මත එයාර් ලංකා සමාගමට ලබාදෙන ලද බවත්, සමාගමේ සියලූ කාර්ය මණ්ඩල සාමාජිකයන්ද පුහුණු කරදෙනු ලැබූ බවත් එහෙත් කිසිදු ප‍්‍රගතියක් පෙනෙන්නට නොතිබූ බවත් අවසානයේ සමාගමේ සභාපති වූ ගුවන් නියමුවා සිංගප්පූරු විශේෂඥයන් දෙන ලද උපදෙස්වලට පටහැනිව පරණ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට තීරණය කළ විට එයාර් ලංකා ව්‍යාපෘතියෙන් මුළුමනින් ඉවත්වීමට සිංගප්පූරුව තීරණය කරන ලද බවත් ඔහු කියා තිබේ.
ලංකාවේ නායකයන් ඵලදායී දේවලට වඩා පුරාජේරුව පෙන්වන දේවලට කැමතිය. ඒ වැරැුද්ද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටද අඩු මට්ටමකින් හෝ තිබුණේය. විදේශ ගුවන් සමාගමක් ඇති කිරීමෙන් අපේක්ෂා කරන කාර්යය විදේශ ගුවන් සමාගම්වලින්ද ඉටුකර ගතහැකි නිසා ඊට පෙර අභ්‍යන්තර ගමනාගමනය හා ප‍්‍රවාහනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සිය අවධානය යොමුකරන ලෙස ලී ක්වාන් යූ ජේ.ආර්. ජයවර්ධනගෙන් ඉල්ලා සිටීම මුළුමනින් නිවැරදිය. එම උපදේශය පිළිගන්නට ජනාධිපති ජයවර්ධන කැමති වූයේ නැත. ඉන්පසු බලයට පත්වන සියලූ ජනාධිපතිවරුන් මේ විෂය මහත් ආශාවෙන් අතපත ගාන්නන් බවට පත්වූහ. අවසානයේ ඉන් රටට සිදුවී තිබෙන අලාභය ගණන් ගත යුතුව තිබෙන්නේ බිලියන සිය ගණනිනි.
වික්ටර් අයිවන්
No comments:
Post a Comment